රතු පියුම සංවිධානය ගැන

වර්ෂ 2004 දෙසැම්බර් මස 26 වනදා උදෑසන, ස්ත්‍රී පුරුෂ බාල මහළු 150 000 ක් පමණ දෙනා මරණයට පත් කරමින් මුළු මහත් ලෝකයේ ආන්දෝලනාත්මක අවධානයට ඇද ගනිමින්, ශ්‍රී ලංකාව, තායිලන්තය, ඉන්දුනීසියාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් ගණනාවක් වෙත ඓතිහාසික වාර්තාගත දැවැන්ත විනාශකාරී සුනාමි නම් වූ මහා සමුද්‍රය ගොඩගැලීම සිදුවූ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ හා ලෝකයේ වෙනත් රටවල බෞද්ධයන් අතර බෞද්ධ සතර බ්‍රහ්ම විහරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ ආකාරය අගය කරමින්,ලෝකයේ සෑම ප්‍රදේශයකින්ම පැමිණ භාවිත වර්ෂ2005 මාර්තු මස 19-20 දිනවල (බු.ව.2548) ශ්‍රී ලංකාවේ කොළඹ දී පවත්වන ලද, සුනාමියෙන් සක්‍රීය වූ ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණයේදී පරත්තං පටිපජ්ජථ යන උතුම් වූ බුද්ධානුශාසනාව මත පිහිටා බහුජන හිත සුව පිණිස ඇප කැප වූ,බෞද්ධ ජාතික සංගම්වලින් සැදුම්ලත් ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවීමට ස්ථිර අධිෂ්ඨානයෙන් යුක්තව ගාම්භීරතා පූර්වකව සම්මත කරන ලදී. ඊට අනුකූලව,

සුනාමිය හේතුවෙන් සුනාමියට ගොදුරු වූ ද ගොදුරු නොවූ ද ප්‍රදේශවල අනාථ වූ දහස් සංඛ්‍යාත ජනයාට සහන සේවා සංවිධානය කිරීමේ දී හා ලබාදීමේදී භික්ෂූන් වහන්සේ හා ගිහි සමාජය විසින් ලබාදුන් නායකත්වය අගය කරමින් ද, මෙම ඛේදජනක ව්‍යසනකාරී අවස්ථාවේ දී විහාරස්ථානයේ මග පෙන්වීම යටතේ බෞද්ධ ජනතාව විසින් දක්වන ලද ප්‍රතිචාරයේ දී පිළිඹිබු වූ ස්ථානෝචිත ක්ෂණික ක්‍රියාකාරීත්වය හා ස්වේච්ඡානුගතාව අගය කරමින් ද,

පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය සම්පත් සම්පාදනය කර ගැනීමේ දී දේශීය හා විදේශීය බෞද්ධ ස්වේච්ඡා සංවිධාන ඉටු කරන ලද වැදගත් කාර්යය වගකීම් පිළිගනිමින් ද, ව්‍යසනයේ දී ජනතාව විසින්නොසැලී එය විද දරා ගනිමින් යළි හැකි ඉක්මනින් යථා තත්වයට පත් වීම සඳහා දක්වන ලද උනන්දුව පිළිගනිමින් ද, තොරතුරු ලබා ගැනීමේ අඩුපාඩු හා සම්බන්ධීකරණයේ දුර්වලතා ගැන දැඩි ලෙස කම්පා වෙමින් ද,

ජාතික හා ප්‍රාදේශීය වශයෙන් තොරතුරු ඵලදායී ලෙස හුවමාරු කර ගැනීම හා බෙදා හැරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොතිබීම ගැන අවධානය යොමු කරමින් ද, ප්‍රථමාධාර, ජීවිතාරක්ෂක දක්ෂතා, ආපදා උපදේශනය, ළමාරක්ෂණය,කළමනාකරණය ආදියෙන් පුහුණුව ලත් ස්වේච්ඡා සේවකයින්ගේ ඌණතාවය හා ව්‍යසන කළමනාකරණයේ ක්ෂණික අවශ්‍යතාවය පිළිගනිමින් ද,

ස්වාභාවික ව්‍යසන අවස්ථාවන්හි දී බෞද්ධ ප්‍රතිපත්ති මත පිහිටා වඩාත් කාර්යක්ෂම, පූර්ව සූදානම් ක්‍රියා ව්‍යුහයකින් සමන්විත ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සංවිධානයක් පිහිටුවීමේ අවශ්‍යතාව අවබෝධ කරගනිමින් ද,

රතු පියුම සංවිධානය ආරම්භ කරන ලදී.

අපගේ දැක්ම

ආපදා අවස්ථාවන්හි දී සාමාජික ආයතන මගින් සියළුම සත්වයන්ගේ දුක් වේදනා සන්සිඳුවීම, අවම කිරීම හා වැළැක්වීම අරමුණු කොට ජීව හිතවාදී විවිධ ක්‍රියා ප්‍රවර්ධනය කිරීම හා ඒ සඳහා උනන්දු කරවීම සඳහා වූ ප්‍රමුඛතම බෞද්ධ සංවිධානය බවට පත් කිරීම.

අපගේ මෙහෙවර

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ මත පදනම්ව ශ්‍රී ලංකාව තුළ ජීව හිතවාදී සේවාවන් සඳහා සම්පත් බැංකුවක් ලෙස ක්‍රියා කිරීමෙන් සහ ඵලදායිතා සම්බන්ධීකරණය, සහයෝගීත්වය සහ ජාලවීම තුළින් ප්‍රාදේශීය සහ ජාතික වශයෙන් ඕනෑම ස්වභාවික ආපදා අවස්ථාවක දී වැඩි සූදානමක් ඇති කිරීමෙන් සියළු සත්වයන්ගේ දුක් වේදනා සන්සිඳුවීම, අවම කිරීම හා වැළැක්වීම සහ එවන් ආපදාවකට අවබෝධයෙන් හා ඉවසීමෙන් යුතුව මුහුණදීමට හැකි වන පරිදි බෞද්ධ ජීවන ප්‍රතිපත්ති වලට යොමු කරවීම.